මතක මාවත

Deanston10

ක්‍රීම් පාටට හුරු සුදු පාටක් තියෙන ඔසරිය ඇඳපු ආච්චියම්මා තනි දොර ටකරං ලංගම බස් එකේ පාපුවරවුට කෙලිංම පිටිපස්සෙ ආසනේ වාඩි වෙලා ඉන්නවා. එයාගෙ ඔඩොක්කුවට බර දීල මං පාපුවරුවට උඩිං හරහට තියෙන මළ නොකන වානේ බටේ එල්ලිලා ඉන්නවා. වංගු වංගු පාරෙ උඩට උඩට යද්දි හුන්නස්ගිරිය එබිල බලනවා සමහර වෙලාවට….

මෙහෙම ඇවිත් කඩමණ්ඩියක් එක්ක තියෙන හන්දියක අපි බහිනවා. මගෙ එක අතක නැමි මිට තියෙන පොඩි කුඩයක්. අනික් අතින් ආච්චියම්මගෙ අතේ එල්ලිලා. අපිව හලපු බසය ආයෙත් දුම් දාගෙන කන්ද නගිනවා.

කඩමණ්ඩියෙ කඩ තුන හතරක් තියෙනවා. එකක් බේකරිය. ඒකෙ වැලිතලපෙයි, රෝස් පානුයි නොවරදවාම අපි එක්ක ගෙදර යනවා.

මහ පාරෙං ඇතුලට තියෙන තාර පාරෙ ටික දුරක් ගිහිං කන්ද දිහාට තියෙන මැටි පාරකට ආච්චියම්මයි මමයි හැරෙනවා. වැස්සට මඩ වෙලා පාරෙ ටයර් පාරවල්හිටලා, අව්වට කරවෙලා ඒව ගල් වෙලා නිසා අපි බිම බලාගෙන යනවා. ඒ යන මග මඩගොඩේම තියෙන මිනිරන් දිලිසෙනවා.

එහෙම ටික දුරක් ගිහිං, සිය පාරක් ගැහුවාම වතුර එන්න පටං ගන්න නළ ලිඳ පහු කරපු ගමන් පාරෙ වම් අත පැත්තෙ තියෙන ඊයං පාට අඩියෙ අඩියෙ විතර කොටු තියෙන ගේට්ටුවක් අැරං අපි ඇතුළු වෙනවා.

පතාක මිදුලක්; දකුණු අත පැත්තෙ එක අත්තක් මිදුලට දාල හෙවන දෙන මහ රඹුටං ගහක්, ගේට්ටුව පැත්තෙම රන්තැඹිලි ගහක්, ඊට එහායිං අඹයක්. වම් අත පැත්තෙ දිගට බෝගැන්විලා, සීනියාස් පැල යායක්. ඊටත් වමෙං ආයෙත් අඹයකුයි ජම්බු ගහකුයි…

ඒ නිල්ල පිරුණු වත්ත මැදින් ගිහින් පරණ පාට, පුංචි මගේ හිතේ හොල්මන් හැඟීමක් දනවපු ඒ ගෙදර, බොඳ වෙච්ච වීදුරු කැට අල්ලපු, පළු දෙකේ ඉස්සරහා දොරින් අපි ඇතුළු වෙනවා.

මුලින්ම ඉස්තෝප්පුව, කතිර මැස්මෙං වැඩ දාලා රතු කපු රෙදි කවර දාපු වේවැල් පුටු හතරක් ඔහේ බලං ඉන්නවා. එයාලගෙ තනි නොතනියට මම නොදන්න මිනිස්සු ගොඩක් ඉන්න සමූහ ඡායාරූප වගයකුත් බිත්තිවල එල්ලිලා බලං ඉන්නවා. එතන වම් පැත්තෙ පළු දෙකේ දොර ‘ඉස්සරහා කාමරය’ට මං විවර කරනවා.

ඒ ඉස්තෝප්පුව පහුකරන් අපි සාලෙට ඇදෙනවා. යන කොටමපවම් පැත්තෙ මුල්ලෙ යක්ස පෙට්ටිය ඉඳං සාලෙ දිහා බලන් ඉන්නවා. දකුණු අත පැත්තෙ බොඳ වීදුරු අල්ලපු ජනෙල් වලිනුයි, කොටු කොටු දැල් ගහපු ජනෙල් අස්සෙනුයි පෙරිලා ආපු එළියෙන් තඹ පාට පුටු සෙට් එක පේනවා. ඒවට පිටි පස්සෙන් ලාකඩ වැඩ දාපු, අතින් වියාපු සේසත්, කස්තාන දිලිසෙනවා. ඒ මැද්දෙ තියපු කැබිනෙට්ටුව උඩ ලී තැටියක ලීයෙන්ම හදාපු පොඩි වයින් ‘වීදුරු’ ලාකඩ දිස්නය දෙනවා. ඒ අතරෙ වම් පැත්තෙ කාමරයට යන දොරට උඩින් මොනාලිසා මේ ඔක්කොම දිහා උපේක්ෂාවෙන් බලාන ඉන්නවා.

සාලෙත් පහු කරන් මහ විසාල ආරුක්කුවකින් වෙන්වුණු කෑම කාමරේට අපි යනවා. වම් පැත්තෙ ලී පඩි පෙළ. ඒක යට තියෙන ලී බිත්ති කබඩ් එකේ ගෙනාපු වැලිතලප, රෝස්පාං මල්ල තියනවා. වේවැල් වියාපු, ලී පුටු අටකින් වට වෙච්ච කෑම මේසෙ, කෑම කාමරය මැද්දෑවෙ ඔහෙ බලං ඉන්නවා.

කෑම කාමරයට ඔබ්බෙං පොඩි කොහාටවත් නැති කෑල්ලකින් එළියට යන දොරත්, ගබඩා කාමරයත්, සාලය තරම්ම ලොකු කුස්සියත් එකට සම්බන්ද කරනවා. ආච්චියමමා අරං ආපු එළවළු මල්ල කුස්සයට අරං යද්දි, මම ආයෙත් ආපස්සට ඇවිත් උඩ තට්ටුවට නගිනවා. පඩි පහේ, දහයෙ කෑලි දෙකකට තිබුණු පඩි පහලොවේ පඩිපෙළ මුදුනෙ ලීයෙංම හදපු දෙවැනි තට්ටුව අර මුලින් කී ත්‍රාසය මුසු හැඟුම තව කුලප්පු කරවනවා. විසාල කාමරයකුත්, කඩා කාමරයකුත් දරාපු ඒ තට්ටුවෙ කොරිඩෝවෙ, හැම වෙලාවෙම පාහේ බුදුන්ට පත්තු වුණු හඳුන්කූරු දුමත්, පහන් එළියත් ඒ කුලප්පුවට හේතු වෙන්න ඇති. මහ කාමරේ ජනේලෙ ගාවට යන මම කොටුදැලේ එල්ලිලා එහා වත්තෙ ගස් මුදුන් වල එල්ලිලා නටන වඳුරො දිහා බලනවා.

ඒත් ආච්චියම්මගෙ කෑගැහිල්ලෙන් ඒ වැඩේ පැත්තක තියලා ඇඳුම මාරු කරන් ගෙදරට අඳින ඇඳුමක් දාං පහළට බැහැලි අර කොහාටවත් නැති කෑල්ලෙන් එළියට බැහැලා, ලාවට ගල් සෙවෙල බැඳුණු පිල දිගේ ගේ පිටි පස්සට යනවා; වැහි වතුර පෙරලා අරං පුරවපු වතුර ටැංකියෙන් වතුර ටිකක් හලාන නාගන්නට.

අවුරුදු දහයකට පස්සෙ අපි විකුණලා ආපු ඒ මහ ගෙදර පාරෙ හුන්නස්ගිරිය දිහා බල බල මම කන්ද නගිනවා. අතීත මතක මාවත මා ඉස්සරහා දිග ඇරෙනවා…

(Image is from web. Credit goes to the rightful owner.)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s